Thu. Feb 2nd, 2023

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා රටවල් කිහිපයක් සමග කර ඇති සාකච්ඡා සාර්ථක වී ඇති බවත්, එම නිසා පොහොර හිඟය හෝ වෙනයම් හේතුවක් පාදක කරගනිමින් යල කන්නයේ වගාව අතනොහරින ලෙසත් ජනාධිපතිවරයා සියලුම ගොවීන්ගෙන් ඉල්ලා සිටී.

යල කන්නයේ වගා කටයුතු සහ ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟය අවම කරගැනීම පිළිබඳ ඊයේ (30) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර තිබිණි.

පොහොර ගෙන්වීම, බෙදාහැරීම, නිසි කළමනාකරණය, දැනුවත් කිරීම, ගොවීන් සහ නිලධාරීන් අතර සම්බන්ධීකරණය සඳහා ජාතික පොහොර ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් විය යුතුව ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබීය. ගොවියාගේ කැමැත්ත පරිදි රසායනික හෝ කාබනික පොහොර යොදාගනිමින් වගා කටයුතු සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම ලබාදිය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.