Tue. Oct 4th, 2022

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා විදේශ රටවල් අතර “මූල්‍ය පාලමක්” ගොඩනගා ගත හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹෙන ගිවිසුම මත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින අතර මෙම මාසය අවසන් වන විට එම සාකච්ඡා අවසන් වනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකි බවද හෙතෙම පවසයි.

මේ වසරේ ණය ඇතුළු සෙසු ආපසු ගෙවීම් සඳහා ඇමරිකා ඩොලර් බිලියන 5ක ඉලක්කයක් ඇති අතර තවත් ඇමරිකා ඩොලර් බිලියනයකින් රටේ සංචිත ඉහළ නැංවිමට ද ඉලක්ක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒකාබද්ධ වාණිජ මණ්ඩලය, ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය ඇතුළු වෙළෙඳ සංගම් නියෝජිතයන් සමග අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර තිබේ.