Mon. Oct 3rd, 2022

සිරගත වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා කළ හැකි දෙයක් තිබේ දැයි සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත්  ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහත්වරුන්ට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

මේ අතර සාගල රත්නායක සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඉකුත් අඟහරුවාදා වැලිකඩ බන්ධනාගාරයට ගොස් රංජන් රාමනායක මහතා හමුවී ඔහුගේ සුවදුක් විමසා බලා ඇති අතර තමා මේ දිනවල උපාධියට සූදානම් වන බවත් ඒ වැඩ කටයුතු සඳහා ලබා දී තිබූ ලැප්ටොප් පරිගණකය නැවත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ගිය බවත් රංජන් රාමනායක සාගල රත්නායක මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟ පවසා තිබේ.

තමා  පරිගණකයෙන් ඇමතුම් ගන්නා බව කියමින් එම පරිගණකය රැගෙන ගිය බවද රන්ජන් රාමනායක මහතා පවසා ඇත.

එහිදී අග්‍රාමාත්‍ය ලේකම්වරයා බන්ධනාගාර නිලධාරීන් සමඟ මේ කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර බන්ධනාගාර නිලධාරීන් දැනුම් දී ඇත්තේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් රංජන් රාමනායක මහතාට ලබාදීමට කටයුතු කරන බවයි.