Sun. Oct 2nd, 2022

අඩු මිලට රජය රුසියාවෙන් ඉන්ධන ලබා නොගතහොත් ඊට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සම සභාපති ජගත් විජයගුණරත්න පවසයි.

පසුගියදා මෙරටට පැමිණි බොරතෙල් නැව ද ඩුබායි රාජ්‍යයේ ඒජන්තවරයකු මගින් ගෙනා බවත්, එම ඒජන්තවරයා මෙරට ප්‍රසිද්ධ දේශපාලකයකුගේ පුත්‍රයකුගේ හිතවතකු බව සැලවෙන බවත් ඔහු සඳහන් කරයි.

අතරමැදියන් මාර්ගයෙන් තෙල් ලබා ගැනීමේ ක්‍රමවේදය වහා නතර කර, රාජ්‍යයෙන් රාජ්‍යයකට තෙල් ලබා ගැනීමේ විධිමත් ක්‍රමවේදය ස්ථාපිත කරන ලෙස බලශක්ති ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද සභාපතිවරයා පවසයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආරම්භ කළ දිනයේ පවා මුල්ම තෙල් තොගය මෙරටට ලබාදුන්නේ රුසියාව බවත් ආණ්ඩුව රුසියාවෙන් තෙල් නොගන අරාබි රටවලින් තෙල් ලබාගන්නේ කොමිස් මුදල් ලබා ගැනීමට හැකි බැවින් යැයි ද හෙතෙම පෙන්වා දෙයි.

රටේ අවාසනාවට හා ජනතාවගේ අවාසනාවකට බලශක්ති අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන බව පෙන්වා දුන් ඒ මහතා අඩු මිල ගණන් යටතේ බොරතෙල් සහ ඉන්ධන ලබාදීමට රුසියාව එකඟවී ඇතත් ඒ සම්බන්ධයෙන් රජය අවධානය යොමු නොකිරීම සැක සහිත බවද වැඩිදුරටත් පවසයි.