Sat. Oct 1st, 2022

ශ්‍රී ලංකාව ණය බරින් නිදහස් වීමට දරණ උත්සාහයේදී චීනය ශ්‍රී ලංකාවට සහාය වීමට කැමති බව චීන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ෂාඕ ලීජියැන් මහතා සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව ණය බරින් නිදහස් වීමට දරණ උත්සාහයේදී අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන සහ රාජ්‍යයන් සමග චීනයද  ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට සුදානම් බව ඊයේ (8) පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ෂාඕ ලීජියැන් මහතා ප්‍රකාශ කර ඇත.

විදේශ ආයෝජන හවුල්කරුවන්ගේ නීත්‍යානුකූල අයිතීන් සුරක්‍ෂිත කරන ලෙසත් දේශීය වෙළෙඳපොළේ ස්ථාවර ක්‍රියාකාරිත්වය සහතික කරන ලෙසත් චීනය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව ෂාඕ ලීජියැන් මහතා තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බ්ලූම්බර්ග් නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී දකුණු ආසියාතික රටවල මූල්‍ය අර්බුදවලට වෙනදා මෙන් චීනයේ අවධානය යොමු නොවන බව පැවසූ අතර චීනය දකුණු ආසියාව වෙත යොමුකර තිබූ අවධානය කෙමෙන් කෙමෙන් ගිලිහී යන බවත් අග්නිදිග ආසියාව සහ අප්‍රිකාව වෙත චීනයේ උපාය මාර්ගික අවධානය යොමු කරමින් සිටින බව පෙනෙන්නට තිබෙන බවත් ප්‍රකාශ කර තිබේ.

එයට පිළිතුරු දුන් ෂාඕ ලීජියැන් මහතා ශ්‍රී ලංකාව හොඳ මිතුරකු බවත් චීනය ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 500 ක් (ඩොලර් මිලියන 74.9 ක් පමණ) මානුෂීය ආධාර ඇතුළුව තවත් එවැනි සහන ලබා දී තිබෙන බවත් සඳහන් කර ඇත.

එසේම දකුණු ආසියානු රටවල් සමඟ යහපත් අසල්වැසි සබඳතා වර්ධනය කර ගැනීම චීනය ඉතා වැදගත් කොට සලකන බවත් කලාපීය සාමයේ සහ සංවර්ධනයේ ධනාත්මක ප්‍රවණතාවය පවත්වා ගෙන යාමටත්, ජනතාවට වැඩි ප්‍රතිලාභ ගෙන දීමටත් චීනය සූදානමින් සිටින බව ෂාඕ ලීජියැන් මහතා ප්‍රකාශ කර තබේ.