Mon. Oct 3rd, 2022

අන්තර් කාලීන ආණ්ඩුවක ඇමැතිකම් භාරගන්නේ ද නැද්ද යන්න තීරණය පක්ෂ 11හේ නායකයන් හා එක්ව සාකච්ඡා කිරීමෙන් පසු තීරණය කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි

“මුළු රටම හරි මඟට“ යන්න තේමා කරගනිමින් පක්ෂ 11හේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ ඊයේ (4) සංවිධාන කර තිබූ වෘත්තීය සමිති නියෝජිත හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.‍

මේ වනතෙක් ඒ සඳහා කිසිදු ආරාධනාවක් සිදුව නැති බවද හෙතෙම පවසයි. රටේ පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට නම් සියලු පක්ෂ නියෝජනය කරමින් අන්තර් කාලීන ආණ්ඩුවක් අවශ්‍ය බවත්, පවතින තත්ත්වය යම් සමනය වීමෙන් අනතුරුව මැතිවරණයකට ගොස් ජනතාව කැමැති ආණ්ඩුවක් පත් කරගැනීමට අවස්ථාව දිය යුතු බවත් ඔහු සඳහන්කරයි.

දැනට තිබෙන ඇමැති මණ්ඩලය රෙපයාර් නොකර ජනතාව බලාපොරොත්තු වන නව ඇමැති මණ්ඩලයක් පත් කළ යුතු බව පැවැසූ වීරවංශ මහතා එසේ නොවුණ හොත් ජනතාවගෙන් දිනෙන් දින එල්ල වන පීඩනය සමනයකට පත් කිරීමට නොහැකි වන බව ප්‍රකාශ කර ඇත.

ජන දුක හඳුනන, ජනතාවාදී පක්ෂ නියෝජිතයන්ට නව අන්තර් කාලීන ආණ්ඩුවකට එක්වන්නැයිද හෙතෙම ඉල්ලා සිටියේය.