Mon. Oct 3rd, 2022

මෙටි‍්‍රක් ටොන් 3500 බැගින් වූ ගෑස් නෞකා දෙකක් මීට දින 15කට පෙර මෙරටට පැමිණි අතර එම නෞකා දෙක නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් නොමැතිකම හේතුවෙන් ඒවා තවමත් වරායේ ඇතැයි ලිට්රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කර තිබේ.

මේ හේතුවෙන්රට තුළ බරපතළ ගෑස් හිඟයක් ඇතිවී තිබෙන අතර එම නෞකා දෙක නිදහස් කර ගැනීමට මහා භාණ්ඩාගාරය මැදිහත්වී බැංකුවලින් ඩොලර් ඉල්ලා ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කර ඇත.

ලාෆ් ගෑස් සමාගමට ගෑස් ආනයනය කිරීමට කිසිදු සහායක් නොලැබෙන බවත් දැනට වෙළෙඳ පොළේ තිබෙන ගෑස් සුළු ප‍්‍රමාණය අවසන් වූ පසු ලාෆ් ගෑස් වෙළෙඳ පොළේ නැති බවත් එහි උසස් නිලධාරියෙක් සඳහන් කරයි.

මේ වනවිට ඞීසල් නෞකා දෙකක් නිදහස් කරගෙන ඒවා රටපුරා බෙදාහරිමින් තිබෙන බවත් ප‍්‍රවාහන කටයුතු යම් තරමකට පවත්වාගෙන යන අතරේ ගෑස් ප‍්‍රශ්නය මතුවී ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ද පවසයි.

මේ අර්බුදයට ප‍්‍රධානම හේතුව රට තුළ පවතින ඩොලර් හිඟය යැයි ද ඊට විසඳුමක් ලැබෙන තුරු ඉන්ධන, ගෑස් ඇතුළු අනෙක් ද්‍රව්‍යවල හිඟය පවතිනු ඇතැයි ද මුදල් අමාත්‍යාංශ  සඳහන් කරයි.

පාරිභෝගිකයන්ට ගෘහස්ථ ගෑස් මිලදී ගැනීමේ අපහසුතාවක් මේ වන විට ඇතිවී තිබෙන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම සඳහන් කරයි.

එම තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගම ඒ හා අදාළ අනෙකුත් ආයතන සමග ඒකාබද්ධ ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් ඉතා කඩිනමින් ප‍්‍රමාණවත් පරිදි එල්පී ගෑස් ලබා දීමට බලාපොරොත්තු වන බවත් එම සමාගම පවසයි.