Tue. Oct 4th, 2022

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සිය දේපළවලට  හානි කිරීම ගැන  අද(18) පාර්ලිමේන්තුවේදී  කතා කළ අවස්ථාවේ  වරින් වර හඬා වැටෙන්නට විය.

තමාට දැන් ඉතිරිව ඇත්තේ ඇඳිවත  පමණක් බවත් හෙතෙම සඳහන් කරයි.

ඔහු මෙසේ පැවසුවේ රටේ පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්වූ  සභාව  කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැඩිම හානිය සිදුවුයේ තමාට බවත්   සිද්ධිය ගැන තමා වන්දි නොව සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටින බවත්  ලන්සා මහතා පවසයි.

එම  සිද්ධීන්වලට සමගි ජන බලවේගය හෝ එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නැති බව පැවසූ නිමල් ලන්සා මහතා  මීට සම්බන්ධ කණ්ඩායම  ඉදිරියේදී හෙළි කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

පියාගෙන් සීයාගෙන් ලැබුණු දේවල් මෙන්ම තමා හරි හම්බ කළ දේවල්ද  මේ අයගේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නැතිවූ  නමුත්  ඒ සම්බන්ධයෙන් හිත හදාගෙන සිටින බවත්  මෙවැනි දේවල් ඉදිරියටත් සිදු වුවහොත් රට නැතිවන බවත්  ඔහු සඳහන් කරයි.

තමාට උදව් කිරීමට බොහෝ  හිතවතුන් ඉදිරිපත්ව සිටින බව පැවසූ හිටපු රාජ්‍ය  අමාත්‍යවරයා  ප්‍රසිද්ධ හෝටල් හිමියකු තමාට ඔහුගේ හෝටලයක නවතින ලෙසට ආරාධනා කළ බවද  ඔහු පවසයි.