Tue. Oct 4th, 2022

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම 50%කින් පමණ පිරී ගියත් විදුලි කප්පාදුව දිගටම සිදු කිරීමට වන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරුවරු කියා සිටිති.

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළ යෑම නිසා ජල විදුලි නිෂ්පාදනය යම් පමණකට ඉහළ දැමීමට හැකි වී තිබුණත් ඉක්මණින්ම ජලය අවසන් වන බව ද ඔවුහු කියා සිටියි.

මේ මොහොතේ ඩීසල් මගින් විදුලිය ජනනය කර විදුලි අවශ්‍යතා පිරිමසා ගැනීමට යෑමෙන් රටේ ආර්ථික අර්බුදය තවත් උග්‍ර වන බවත්, හොඳම දේ ජනතාවට සත්‍ය හෙළිකර දිනකට පැය කිහිපයක් විදුලිය කපා දැමීම බවත් ඔවුහු පෙන්වා දෙයි.

ඩීසල් ලීටරයක් මේ වනවිට රුපියල් 400ක් දක්වා ඉහළ යෑම නිසා ඩීසල් බලාගාරවලින් විදුලිය ජනනය කිරීමට විශාල මුදලක් වැය වන බව ද ඉංජිනේරුවරු පවසති.

එක් ඩීසල් ලීටරයක් පුච්චා නිපදවා ගත හැක්කේ විදුලි ඒකක 4ක් පමණි. මීට පෙර වසරවලදී කලින් කරන ලද සැලසුම්වලට අනුව ජනතාවට දන්වා දිනකට අවශ්‍ය පරිදි විදුලිය කපාහැරිය ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම, එම කොමිසම වෙත ලැබී තිබෙන බලතල භාවිතා කරමින් රටට විශාල ආර්ථික පාඩුවක් සිදුකරමින් විදුලිය කපන කාලය වෙනස් කරන බව ද ඉංජිනේරුවරු පවසයි.

මෙසේ හිතුමතේ ක්‍රියාකරමින් කටයුතු කිරීමෙන් මුළු රටම දැනටත් වඩා මූල්‍ය අර්බුදයකට යන බව ද ඔවුහු පෙන්වා දෙයි.

සාම්පූර් ගල් අඟුරු බලාගාරය (මෙගාවොට් 500) සහ යෝජිත විදුලි බලාගාර ඉදිකිරීමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම හා ඇතැම් පාලකයන් මෙම විදුලි අර්බුදයට සම්පූර්ණයෙන් වගවිය යුතුව ඇතැයි ද විදුලිබල මණ්ඩල ඉංජිනේරුවරු තවදුරටත් කියා සිටියි.